කොට ඇඳුම් සහ සංස්කෘතියේ විනාශය

Short-Skirt

ලංකාවේ සමහර මිනිසුන්ගේ මානසිකත්වය හරිම මාන්දමික බව මෑතකදී සිදු වුණ බොහෝ දේවල් වලින් පෙනී යයි. ඒවා අතුරින් ලිංගිකත්වය යනු බොහෝ අය ප්‍රසිද්ධියේ පිලිකුල් කරන මුත්, රහසින් විඳින දෙයකි. මෙයට බොහෝ විට ඇතුලත් වෙන්නේ හෙනම පඬි කතා කියන අත්දැකීම් බහුල සහ පරිණත (යැයි කියන) පුද්ගලයින්ය.

ඉතා මෑතකදී සමාජ ශාලාවක රැකියාවක් කරමින් නීති උපාධිය අවසන් කල ගැහැණු ළමයෙක් අලලා කියවෙන හෙනම සංස්කෘතික ටෝක්ස් දුටු විට මෙවැනි අදහසක් ලිවීමට තීරණය කළෙමි.

ඒ ගැහැණු ළමයා කල දේ හි ඇති වරද කුමක්ද?

ඇය සමාජ ශාලාවක රැකියා කලේ ඇයට ඉගෙනීම (හෝ ඇයට අවශ්‍ය ඕනෑම දෙයක් ) සඳහා මුදල් සෙවීමට ය.  එසේත් නැතිව ඇය ගණිකාවක් හෝ porn-star කෙනෙක් වූයේ නැත. එසේ වූවත්, අනිත් අයට එය අදාල ම නැත. ඇය ඒ දේ කලේ ස්වකැමැත්තෙන් නම්, අනිත් කිසිවකුටත් හානියක් වූයේ ද නැත්නම්, ඇයි අනිත් අයට මෙතරම් වේදනා? ඇය කාය වර්ධනය කරන්නේ ඇයට අවශ්‍ය නිසාවෙනි. අනිත් අයට එය අදාල ම නැත. හැබැයි ඇයගේ බිකිනි ෆෝටෝ එක (හෝ ඇයගේ අනිත් ෆොටෝ ) බලමින් අහවල් කාරිය කරන්නේත් ඔය කෑ ගහන උන්දෑලා මය.

හැබැයි ෆොටෝ දාපු එක වැරදියි!

මෙසේ මැසවිලි නගන්නේ හෙනම උපාසකයින් ය. එතරම් පාරිශුද්ධ සුපින්වතුන්ගේ දැහැණ බිඳිම ඇය කල සෑහෙන වරදකි. එතරම් අවුල් නම් ඕවා බලන්නේ නැතුව ම ඉන්නට තිබුණ එක වෙනම කතාවකි! ඒ ෆොටෝ ඔක්කොමත් බලලා, හතර වටේ share ත් කරලා, යාළුවෝ එක්ක එකතු වෙලා ඒ කෙල්ලව හෙනම බඩුවක් කරලා, සමාජයක පේන්න සංස්කෘතිය සුරකින්න ටෝක්ස් දීම තරම් වීරත්වයක් තවත් නැත. මෙසේ බණ දෙසන්නේ මෙවැනි කිසිදු දෙයක් මින් පෙර නොදැකපු මිනිසුන් නිසා එසේ කීම කිසිම අවුලක් ද නැත. මෙසේ අන්තර්ජාලයේ විවිධ ටුයුබ් අස්සේ ඕවාට වඩා දේවල් ද සොයමින් වින්දනය ලබන, රූපවාහිනියේ දකින දේවල් කට ඇරන් හෝ රබර් ඇසින් බලන පාරිශුද්ධ මිනිසුන් හරිම පුදුමාකාරය. අන්තර්ජාලයේ ඇයට ලැබෙන ප්‍රතිචාර දරා ගත නොහැකිව ඇය සිය දිවි නසා ගතහොත්, ඒවාට ඒ එකෙක් නෑර වගකිව යුතු වේ. (එසේ කිරීමට තරම් ඇය මෝඩ නැතැයි මම විශ්වාස කරන්නේ ඇය දිරිය කාන්තාවක් බව දැනටමත් ඇය ඔප්පු කර ඇති නිසාය.)

සංස්කෘතිය සුරැකීම?

ලංකාවේ මිනිසුන්ගේ ඇති හෙනම ගොන් වැඩක් නම් අපගේ සංස්කෘතිය සුරුකීම යැයි බෝඩ් ගසා ගෙන මොංගල් වැඩ කිරීමයි. සංස්කෘතියක් යනු එක තැන පල් විය යුත්තක් නොවේ. ඒ කාලයේ තිබුණ සමහර දේවල් දැනට අදාළ වන්නේ නැති විය හැකියි. ලෝකයට අනුව හැඩ ගැසෙමින්, අපට ම ආවේණික වූ හොඳ දේවල් ඉතිරි කර ගනිමින් ඉදිරියට යා යුතුයි. උදාහරණයක් ලෙස, ලංකාවේ කොපමණ කුහක මිනිසුන් සිටිය ද අන් අයට කරුණා සිතින් උදව් කරන මිනිසුන්ගේ ද අඩුවක් නැත. ඒවා අප රැක ගත යුතු දේවල් ය. නමුත් ඒ කාලයේ තිබූ එක ගෙයි කෑම, අන්තඃපුර සහ අඩු වයසින් විවාහ වීම ආදිය දැන් කාලයේ නරක දේවල් ලෙස සලකනු ලබයි. දැන් කාලයේ සීගිරි අප්සරාවන් සිටියා නම් හෝ ඒ චිත්‍ර දැන් ඇන්දා නම් දැන් ඔවුන් හිර බත් කනවා ඇත. සාරිය ඔසරිය සහ ළමා සාරිය නාභිය පෙනෙන්නට ඇඳීම සංස්කෘතිය වන අතර ඒ අයුරින් බ්ලව්ස් එකක් ඇඳීම සංස්කෘතිය විනාශ කරන්නකි. ඒ කෙසේ වුවත්, ඒ දෙකම දෙස කෙල හලමින් බලා සිටින උන්ගේ නම් අඩුවක් නැත.

Sigiriya- drawing

නමුත් සුද්දියෝ මේ අයුරින් සිටියාට කිසිම අවුලක් නැත. ඒවා මැජික්ය. ඒවා සුදු නිසාද කියා නොදනිමි. ලංකාවේ වුවද සුද්දියක් අඟක් 6ක කොට කලිසමක් ඇඳ පාරේ යාම හෝ බිකිනියක් පිටින් වෙරලේ සිටිම කිසිම අවුලක් නැත. ඒවා දිහා ඇහ කොනින් ලබා සිඟිති වින්දනයක් ලබන්නන් සෑහෙන සිටියද එහිද වරදක් නැති ලෙස සැලකිය හැක. හැබැයි ලංකාවේ කෙල්ලෙක් වෙනත් රටකදී වුවද ඒසේ සිටීම හෙනම අවුලකි. එතකොට නම් සංස්කෘතියට හෙනටම කෙල වෙනවාය.

උදා: පොදු ස්ථාන වල දුම් පානය ලංකාවේ නීතියෙන් තහනම්ය. හැබැයි කොටුව ස්ටේෂන් එකේ විදේශිකයන් සිගරට් බොන විට ඒවා අවුලක් නැත. ඒවා දිහා බලමින් පිලිකුල් කලද වචනයක් හෝ කීමට කොන්දක් නොමැත. ඒ තවමත් අපි නිදහස් නැති නිසා විය හැකියි.

කොට ඇඳුම්

කාන්තාවක් කොට ඇඳුමක් ඇඳන් ගිය විට හෝ තනපටයේ පටිය පෙනෙන විට නළියන, කිසිදු පාලනයක් නැතිව අහවල් එක කරට නගින (උදා: තිරිසන් සතුන්) නාමික පිරිමින් නිසා අද වන විට ලංකාවේ කාන්තාවන් මහා පරිමාණයෙන් අතවර වලට පත් වෙමින් පවතී. උන්ගේ ලොජික් එක නම්, එසේ පෙනෙන්ට අඳින්නේ ඇයට “යමක්” අවශ්‍ය නිසා යන්නයි. හැබැයි කොල්ලෙක් කොට කලිසමක් අඳින්නේ ද යමක් අවශ්‍ය නිසා ද යන්න දරුණු ප්‍රශ්නයකි. එසේ කොට කලිසමක් ඇඳි කොල්ලෙක්ව සමලිංගික මැරයින් පිරිසක් පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීම සාධාරණ ද? ඇඳන් යන්නේ පෙන්වීමටය කියා සිතේ නම් එය බලා තනිවම කරගන්නා දෙයක් කර ගන්න. ඇයට “යමක්” අවශ්‍ය නම් එය ඇය ඔබට පවසනවා හෝ දැන ගැනීමට සලස්වනවා ඇත. ( ස්ත්‍රී දූෂණය සහ කැමැත්තෙන් සිදුවන දේ අතර වෙනස මෙම tweets මගින් කාන්තාවක් පැහැදිලි කර ඇත.)

short-skirt-2

කාන්තාවක් වුවද ඇඳුමක් අඳින්නේ එයට ඇය කැමති නිසා පමණකි. අන් අයව චූන් කිරීමට එසේ ඇන්ද ද, එසේ නම් ඒවා බලා චූන් වී නිකන් සිටිය යුතුය. එතනින් එහාට උපකල්පන මත ස්පර්ෂ කිරීමට යාම මොංගල් කමකි. බිම වැටුණු යමක් ඇහිඳීමට වුවද කාන්තාවකට පහත් වන්නට වත් නොහැකි වන්නේ බ්ලව්ස් එක අස්සෙන් හංසයන් පෙනේද, පිටිපසින් යට කලිසම හෝ වාටිය පෙනේද යන්න ගැන උකුසු ඇස් යොමාගෙන සිටිනා ප්‍රේතයින් නිසාය. නමුත් එසේ මහත් උනන්දුවෙන් එය බලන එකෙක් පිටතින් සිටින පුද්ගලයෙකු හට හෙනම විහිළුවක් ලෙස පෙනෙනවා නොඅනුමානයි. මේ ප්‍රේතයින් ගෙන් බේරීම උදෙසා ඇය උදෑසන ලෑස්ති වීමේදී, සෑහෙන හැට්ට කටු ප්‍රමාණයක් යොදා ගනිමින් කවුළු වසා ගැනීමට විනාඩි 5-10 කට වඩා ගත කරන්නට සිදු වනවා ඇත. ලංකාවේ සියළුම වැඩ කරන කාන්තාවන් සැලකූ කල මෙය මහා පරිමාණ කාල නාස්තියකි. (හැබැයි ඒ වෙලාව ඉතුරු වුණා කියලා ඒ වෙලාව වෙනත් ඵලදායී වැඩකට යොදවයි කියා වගකීමක් ද නැත). මේ අනුව කොතරම් ලස්සන වුවද සමහර ඇඳුම් ලංකාවේ ඇඳගෙන යාම අකැප වී ඇත. ඒ නිසා ඒවා කාන්තාවන් ඇන්දාට අවුලක් නැති අය වුවද තමන්ගේ හිතවත් කාන්තාවන් ඒවා අඳිනවාට වැඩි කැමැත්තක් නොදක්වති. ඒ, ප්‍රේතයින්ගෙන් තම ආදරණීයයන් බේරා ගැනීමටය.

අනෙක් රටවල් වල කොට ඇඳුම් යනු සාමාන්‍ය දෙයකි. කාන්තාවක් එවැනි ඇඳුමක් ඇඳීම මැජික් ලෙස නොසලකති. මගේ ප්‍රයත්නය ලංකාවේද එසේ විය යුතුය යන්න කියා ඔබ සිතනවා නම්, ඔබටත් මොංගල් ය.

අදටත් ලංකාවේ කෙල්ලෙක් හට සර්වාංගයම වැසෙන තෙක් ඇඳුම් ඇඳන් වුවද රාත්‍රීයේ කෙසේ වෙතත්, දවල් කාලයේදී වත් නොයාමට හේතු ඒ මන්ද මානසිකත්වයයි. මහ දවාලේ වුවද බස් වල කාන්තාවන්ගේ පසුපසින් විත් තමාගේ මහා අනර්ඝ යැයි සිතා සිටින උපාංගය වද්දන්නේ, එසේ කල විට ඇය එයට කැමති වනවා යැයි සිතනවා විය හැකිය. නමුත් එය හුදෙක් පිළිකුලක් වන බව නොදන්නා බැවින් වැදි වැදී සිටිති. මෙවැනි මානසික රෝගීන් හේතුවෙන් මුළු පිරිමි සංහතිය කෙරෙහිම කාන්තාවන් වෛර කිරීම පුදුමයට කරුණක් නොවේ. මෙවැන්නක් දුටු විට අනෙක් පිරිමින් නොදැක්කා සේ සිටී නම් ඔවුන්ගේ පිරිමි කම ගැනද ගැටළු මතු වේ. එසේ නැතිව, වට කරගෙන අරූගේ පද්ධතිය තැළුවේ නම් නැවතත් එවැනි දේවල් සිදු වීම සැහෙන අවම වනු ඇත. එසේත් නැත්නම් ප්‍රසිද්ධියේ පාච්චල් කල යුතුය. සංස්කෘතිය ආරක්ෂා කල යුත්තේ ඒ අයුරිනි.

වරෙක මා බසයේ යන විට ඉදිරි අසුනේ සිටි මහත්මයෙක් සේ ඇඳ සිටි පිරිමියෙක් ඔහුගේ ජංගම දුරකතනයේ කැමරාවෙන් හරි හරියට නමුත් නොදන්නා සේ එතැන සිට ගෙන සිටි තරුණියකයේ පශ්චාත් ප්‍රදේශය පටගත කරනු දැක්කෙමි. ඇය ඩෙනිමක් ඇඳ සිටි අතර එහි රෙකෝඩ් කරන්නේ කුමක්ද කියා වත් මත කිසිදු අදහසක් නැති විය. වැඩේ අවුල් නිසා ඔහුගේ උරහිසට තට්ටු කර කිංඩි හිනාවක් ද සමඟ “අංකල්ගේ ෆෝන් ඒකේ කැමරාවච on වෙලා” යැයි කී විට ලැජ්ජා බරව ඔහු ඊලඟ නැවතුමෙන් බැස ගියේය. කෙල්ලන්ගේ ගවුම් යටින් කැමරාව දමා රෙකෝඩ් කර අප්ලෝඩ් කරන්නේ ද එවැනි අසහන කාරයින් ය.

ඔබටත් ඔබ ආදරය කරන කාන්තාවන් සිටී නම්, ඔවුන්ටත් එවැනි දේ සිදු විය හැක. ඒ ගැන සිතා වත් එවැනි ජරා වැඩ නොකරන්න. එවැනි දේ දුටු වට ඊට එරෙහිව නැගී සිටින්න.

කොලුකම

මේවා කුඩා කල සිට ළමයාගේ මනසින් ඉවත් විය යුතු මනස්ගාත වේ. කුඩා කල සිටම ගැහුණු පාසල් පිරිමි පාසල් ලෙස වෙන් කර තබයි. ඔවුන් මුණ ගැසෙන්නේ අමතර පංති වලදීය. එවිට ඔවුන් විරුද්ධ ලිංගිකයන් මැජික් ලෙස සලකති. මෙසේ අනිත් ජීවි කොට්ඨාෂය ගැන කිසිදු අවබෝධයක් නැතිව ආකර්ෂණය මත පදනම්ව ආරම්භ වන සබඳතා බොහෝමයක් අවසන් වන්නේ ඒ කෙල්ල බඩදරු වී හෝ අන්තර්ජාලය තුල අනික් එවුන් පිනවමින්ය. එසේත් නැති නම් කොල්ලා බේබද්දෙක් හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන්ය. ඒසේත් නැතිනම් පොදුවේ ගත් කල, ඕනෑම ප්‍රශ්නයකට හොඳම විසඳුම ලෙස දකින සිය දිවි නසා ගැනීමෙනි. මෙවැනි දේවල් නිසා කොපමණක් ජීවිත අහිමි වනවාද? එවැනි අපරාධ වලට ඔබත් සුළු අයුරකින් හෝ දායක වනවාද? සිතා බලන්න.

මහා ආඩම්බරයෙන් පවසන trucking හෙවත් කාන්තා පාසල් වලට පැනීම සිදු කරන්නේ මානසික අසහනය “ආතල් එක” හෝ “කොලුකම” යන ලේබල් වලින් වසා ගනිමිනි. තමන්ගේ ක්‍රියාවන් නිසා අන් අයට හානියක් වේ නම් එය කොලු කම ද බලු කම දැයි නොදනිමි. බොහෝ කොල්ලන් සිතන්නේ රස්තියාදුකාරයෙක් ලෙස පාරවල් අයිනේ සිට “ආ… නංගි…” ලෙස යමක් පැවසූ විට කෙල්ලන් කැමති වන බවයි. බාහිරින් මිනිසුන් මැනිය නොහැක යන්න 100% ක්ම සත්‍ය නොවන බව අප කවුරුත් පිලිගැනීමට අකමැති වන්නේ එයින් මිනිසුන්ගේ හිත් රිදෙන නිසාය. ඒ කෙසේ වෙතත් අන් කෙනෙකුට හිංසනයක් සිදු කර විනෝදයක් ලැබීම කොතරම් වූ පහත් ද යන්න නොදනිමි. පාරේ යන කෙල්ලන්ට බිත්තර ගැසීම කොලුකම කියා කියන උන්ම, ඔවුන්ගේ දියණියට, නැගණියට හෝ පෙම්වතියට එය සිදු වූයේ නම් ඒ කතා කියන්නේ නැත. “යමක් කිරීමට පෙර තමන්ව ආදේශ කර සිතා බලන්න” යැයි බුදු හාමුදුරුවන් කිව්වේ කට කහනවාට නොවේ.

මෙය අප සමාජයේ ඇති පිළිකාවකි. නමුත් මෙය එක වර නැවතිය නොහැක්කකි. කලයුත්තේ හැකි පමණින් මානසික රෝගීන් ඉන් මුදවා ගැනීම සහ එවැන්නන් ඇති වීම වැලැක්වීමයි. කුඩා කල සිට තම දරුවාට මේ මානසික රෝග වැළදීමෙන් වලකා ගැනීම අප සැමගේ වගකීමකි. එයින් වඩා යහපත් සමාජයක් ගොඩ නැගෙනු ඇත.

චාටර් වන්නේ තමන්ගේ කෙනෙකු නොවන තාක් සියල්ලෝම පුහු දාර්ශනිකයෝය!

හැකි නම් මෙවැනි දේ සිදු වීම වැළැක්වීමට දායක වන්න. ඔබට ඊට වඩා විචක්ෂණ බුද්ධියක් ඇතැයි මම විශ්වාස කරමි.

ප.ලි. : මේ සම්බන්ධව ඔබට ඇති ප්‍රතිචාර සත පහකට මා ගණන් නොගිනීමට ඉඩ ඇත.

 

02 comments on “කොට ඇඳුම් සහ සංස්කෘතියේ විනාශය

  • M.B.R.Lakmali , Direct link to comment

    I agree with you, the idea is correct. But I think the language you have used is bit not suitable for a professional network like LinkedIn.

    • Praneeth Nilanga Peiris , Direct link to comment

      Hi,
      Thanks for your comment. I have connected by blog to LinkedIn and that was the reason it got published there. I understand that it’s uses slang, I will remove it from there.

Leave a Reply