රැග් එක: අවුරුදු 10කට පසු ලියමි

2019 A/L ප්‍රතිඵල මීට දින කිහිපයකට පෙර නිකුත් විය. මීට හරියටම අවුරුදු 10කට පෙර මට දැනුණ ඒ හැඟීම නැවතත් මගේ හිතට ආවේ ඇඟේ හිරිගඩුත් ඇති කරගෙනය. මට මහ ලොකු රෑන්ක් එකක් නොතිබුණත් මම ආසාවෙන් බලන් හිටපු කැම්පස් එකට යාමට හැකි වෙතැයි හැඟීම තිබුණේ පොඩි ආඩම්බරයකුත් කැටිවය.

සමහරු නම් කියන්නේ ඒ ලෙවල් ජීවිතේ නෙමයි කියලාය. හැබැයි මම ඒක ෆේල් වුණා නම් ඔය පඬි කතා කියන උන් එකෙක් වත් නැත. මට තවත් කොච්චර දුක් විඳින්න වෙයිද කියලා හිතා ගන්නට නොහැකිය. ෆේල් නොවුණ ද දෙවනි වතාවට විභාගය කරන්නට තරම් වත් වත්කමක් නොතිබුණු නිසා මගේ අරමුණ වුණේ කෙසේ හෝ පළමු වතාවෙන්ම විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමටය. අපි ව‌ාගේ දුප්පත් පවුල් වලින් එන අයට රජයේ විශ්ව විද්‍යාලයක් නොලැබුණේ නම් සිදු වන්නේ විභාගෙන් පසු කොහේ හෝ කන්තෝරුවක වැඩට යාමටය. ටෙක් ශ්‍රී ලංකා ශිෂ්‍යත්ව වලට පිං සිද්ද වෙන්නට ඒ වෙද්දි පරිගණක ආශ්‍රිත දැනුමක් තිබුණ නිසා කොහේ හෝ කම්පියුටර් සම්බන්ධ රැකියාවක් නම් හොයා ගන්නට හැකි වනු ඇත. මා අදහස් කරන්නේ ලංකාවේ දැනට අධ්‍යාපන ක්‍රමයෙන් ගොඩ යන්න තියෙන ආර්ථික වශයෙන් පහසුම ක්‍රමය රජයේ විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ලැබීම බවයි. එය ඉදිරියේදී වෙනස් වෙනවා නම් ඉතාමත් හොඳ දෙයකි.

මාගේ ප්‍රතිඵල ඇසූ විට මාගේ දෙමාපියන්ගේ ඇස් වලින් හැළුණු සතුටු කඳුළු මා හට අදටත් මතකය. ඒ එය ලොතරැය්යක් දිනුවාටත් වඩා වටිනා දෙයක් බැවිණි. අප සිටි ඒ නිරයෙන් ගොඩ යාමට පහල වූ අනේග වූ වරමක් ලැබුණා මෙන් අපි සියළු දෙනාම සතුටු වූවා මතකය.

මා ඒ වන විටත් විභාග ප්‍රතිඵල එන තුරු පෞද්ගලික අධ්‍යාපන ආයතනයක තොරතුරු තාක්ෂණ විෂය උගන්වමින් සිටියෙමි. එමෙන්ම නිවෙස් වලට ගොස් සාමාන්‍ය පෙළ ගණිත පංති පැවැත්වූමෙි. ඒ අතරතුර වලින් පානදුර තිබූ සුප්‍රසිද්ධ ජාවා (පරිගණක භාෂා) උගන්වන ආයතනයක “මෘදුකාංග ඉංජිනේරු” පාඨමාලාවක් හදාරමින් සිටියෙමි. අමතර පංති වලින් ලැබුණු ආදායමින් එම පාඨමාලාවේ ගාස්තු ‌ගෙවා ඉතිරිය අම්මාට දුන්නේ ගෙදර වියදමටය.

උසස් පෙළ කාලයේ සිටම මා හට අවැසි වූවේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනය (UCSC) ට ඇතුලත් වීමටය. මා අයදුම් කල ඒ විශ්ව විද්‍යාලයම මා හට ලැබීම පෙර පිනක් විය යුතුය. ඒ ලිපිය ලැබුණු දිනය අදටත් මා හට මතකය. ඒ දිනට පසු දිනය මා හට ඊටත් වඩා මතකයේ ඇත. එය මාගේ විශ්ව විද්‍යාල ජීවිතයේ මුල් කාලය එපා කරවීමටත් ඉන් ඇති වූ අතුරු ප්‍රතිඵල නිසා බොහෝ විට මාගේ මුළු ජීවිතයමත් වෙනස් කිරීමට මුල් වූ දිනය වනු ඇත.

මම ජාවා පංතියේ යහළුවන් සමඟ මාගේ “කැම්පස් ලියුම” ගැන කතා කරමින් සිටියෙමි. එහි සිටි තවත් කිහිප දෙනෙක්ම විශ්ව විද්‍යාල වලට තේරී තිබූ නිසා එය හුදෙක් සැමරුම් කතා බහක් විය. ඒ කතා බහ අතර තුර එතැන සිටි යහළුවෙක් “මචං, අතන ඉන්න අක්කා UCSC එකේ. උඹ ගිහින් විස්තර ටිකක් අහ ගනිං” යැයි කියා පසෙක පරිගණකයක වැඩ කරමින් සිටි ගැහැණු ළමයෙක් ව පෙන්වීය. සතුටින් මත්ව සිටි මමත් ඇය අසලට ගොස් අවසර ගෙන ඇය අසලින් වාඩි වුණෙමි. මට අවශ්‍ය වූයේ මාගේ “කැම්පස් ලියුම” ඇයට පෙන්වා ඒ ගැන විස්තර දැන ගැනීමටය. ඇය ද පරිගණක විද්‍යාව හදාරණ තුන් වන වසර අවසන් කර සිවු වන වසර ඇරඹීමට සැරසෙන සිසුවියකි. එනිසා ඒ ගැන හසළ දැනුමක් තිබුණා යැයි මට ගැඟුණි.

“අක්කේ, සාමාන්‍යයෙන් ඩිග්‍රී එක ඉවර කරන්න කොච්චර කල් යනවද?” යැයි නිතැතින්ම ඇසුණේ ඒ වන විට කැම්පස් වල වර්ජන ගැන අපමණ ප්‍රවෘත්ති දැක අසා තිබීය නිසාය.

“සාමාන්‍යයෙන් අවුරුදු 3 යි. ස්පෙෂල් කරන්න ‌තේරුණොත් අවුරුදු 4 යි. හැබැයි රිපීට් වුණොත් අවුරුදු 5ක් 6ක් යන්නත් පුළුවන්” ලෙස ඇය කියද්දී මට ඉබේම කියවුණේ “ආ… මම නම් රිපීට් වෙන්නේ නෑ” කියාය. (එය නොකීවා නම් හොඳ යැයි පසුව සිතුණි). තවත් විස්තර ද අසා ගෙන ඇයට ස්තුති කර මම එතැනින් ආවෙමි.

ඒ අසල (පෙර කී කතා බහ අසා) සිටි මා නොහඳුනන කොල්ලෙක් මා අසලට පැමිණ “ආ මචං, උඹත් UCSC ද? මාත් UCSC” යැයි කීවේය. මා ඔහුව නොහඳුනන නිසා මඳක් පුදුමයට පත් වුණද ඔහුත් මගේ කැම්පස් එකටම තේරී ඇති නිසා මාත් “ඔව් මචං” යැයි පිළිතුරු දී මදක් විස්තර කතා කලෙමි. අවසානයේ “එහෙනම් රෙජිස්ට්‍රේෂන් දවසේ සෙට් වෙමු” යැයි කතාව අවසන් කර නැවත යහළුවන් අතරට ආවෙමි.


ඒ කැම්පස් රෙජිස්ට්‍රෙෂන් දවසය. මා ඒ වන විටත් හඳුනන කිහිප දෙනෙක් පැමිණ සිටියහ. ජාවා පංතියේ දී හමු වූ කොළුවා මා හට මුණ නොගැසුණු අතර මට ඒ ගැන මට මතක තිබුණේද නැත.

ඊට සති කිහිපයකට පසු කැම්පස් එකේ පළමු දවසයි. නිල රැස්වීම් අවසානයේ සිටම අපට ඉහළ බැජ් එකේ ඡේෂ්ඨ උත්තමයන් ඔවුන්ගේ රැඟුම් ආරම්භ කළහ. නමුත් එය සියල්ලටම පොදුවේ පාත් වූ හෙනයක් නිසා ඉවසාගෙන සිටින්නට විය.

ඉඳ ගත්තද වැරදිය, හිට ගත්තද වැරදිය. ඉංග්‍රීසියෙන් කතා කරන්නට බැරිය. බැජ් එකේ හැමෝගෙම විස්තර කට පාඩම් කල යුතුය, ඒක නම් කමක් නැත. හැබැයි බැරි වුණොත් කුණු බැණුම් ය. කැම්පස් එන්නේ අවුරුදු 18 පසු කල වැඩිහිටියන් ය. කුණුහරුපෙන් බැණ දේවල් කීමෙන් පලක් නැත. අවුරුදු බර ගණනක් පුරුදු වූ ගති ගුණ මාස දෙකෙන් වෙනස් කිරීමට උත්සහ කරති. සහයෝගය අවශ්‍යය. එකිනෙකාට උදව් කල යුතුය. නමුත් එකිනෙකා වෙනස්ය. දෙයක් පැහැදිලි කිරීමට ප්‍රචණ්ඩත්වය හැර වෙනත් ක්‍රමයක් ඇත්තේම නැද්ද?

එක් දිනෙක භවනේ (කැන්ටිමේ) දී “අයියා” කෙනෙක් මට කතා කර සැර පරුෂ අයුරින් මගේ විස්තර අහන්නට විය. මාත් මගේ විස්තර කිවුවේ මීලඟ ලෙක්චර් එකට දැනටත් ප්‍රමාද වූ බව සිහි කරමින්ය.

“උඹ හෙන ඩයල් එකලු නේ?”

“එහෙම නෑ අයියේ…”

“උඹ ජාවා ක්ලාස් එකේ වැඩර් ලු නේ, බැජ් ටොප් ලු නේ?”

“බැජ් ටොප් නම් තමයි අයියේ…” ඔහු ඒවා දන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් වුවද ක්ලාස් එකේ රිසල්ට්ස් එහි වෙබ් සයිට් වල පළ කර ඇතැයි මම සිතමින් පිලිතුරු දුනිමි.

“උඹ බැජ් ටොප් කියලා ලොකු ලයින් දාන්න එපා, හරිද? උඹලාගේ බැජ් එකේ කම්පියුටර් එකක් දැකලා නැති උන් ඉන්නවා යකෝ….”

“මම ලොකු කම් දැම්මේ නෑ අයියේ. කවුරු හරි දෙයක් ඇහුවොත් කියලා දෙනවා.”

“ඒකත් ලොකු කම නේ යකෝ… එතකොට අනිත් උන්ට හිතෙනවා නේ උන්ට බෑ කියලා. උඹගේ බැජ් ටොප් කං එළියෙන් තියලා වරෙං අර ගේට්ටුවෙන් ඇතුලට එද්දි. පරයා, එකට එක කියන්නත් එනවා…”

“දැං මම මොකද්ද කරන්න ඕනේ?” යැයි අහන්නට සිතුනද මම කට පියාගෙන සිටියෙමි.

දිනෙන් දින බැණුම් වැඩි වන්නට විය. මම කරපු වරදකුත් නැත. ටියුෂන් පංති කරන නිසා ඉගැන්වීමේ අසාවක් තිබුණි. ඒ නිසා පුළුවන් කරමින් ලෙක්චර්ස් වල දේවල් අනිත් අයට කුප්පි දැම්මෙමි. නමුත් ඒවාත් වැරදි සැටිය. හැමදාම කුණුහරුපෙන් බැණුම් ය. මට ඒවා එතරම් පුරුදු ද නැත. නමුත් ඉවසා සිටියෙමි. බැණුම් වලට හරි හැටි හේතුවක් හිතා ගන්නට බැරිය. ජාවා පුළුවන් වීම ඒ තරම් වරදක්ද? මෙවැනි බැනුම් නිසා සමහර ලෙක්චර්ස් යන්නේ ප්‍රමාද වීය. බැනුම් වැඩි නම් ඒවා යාමට ද නොහැකි විය.

එක් දිනක මට හැමදාම බැණීම බාරව සිටි “අයියා” තවත් කිහිපදෙනෙක් පිරිවරා ගෙන මට කතා කලේය. ඔහු පසෙකින් දැක පුරුදු පුද්ගලයෙක් භවනේ කණ්ඩියේ වාඩි වී සිටියේය. හඳුනා ගැනීමට ගත වූවේ මොහොතක් පමණි. ඒ අර ජාවා පංතියේ මට කතා කල කොල්ලාය. ක්ෂණිකව මට සියල්ල වැටහුණි.

“අඳුරන්න පුළුවන්ද?” යැයි ඇසීය.

මට සෑහෙන කේන්තිය, නමුත් ඉවසුවෙමි.

“මූ නේ මචං අර රිපීට් වෙන්නේ නෑ කිව්ව එකා…” යැයි පවසා මා භාරව සිටි “අයියා” කොක් හඬලා කින්ඩියට හිනා වෙන්නට විය. සියල්ලෝම සිනා සුනහ. එය විහිළුවක් වන්නේ කෙසේදැයි තවමත් නොදනිමි.

“යකෝ… තෝ දන්නවද මේකේ කොල්ලෝ කෙල්ලෝ කොච්චර අමාරුවෙන් ද ඩිග්‍රිය ගොඩ දාන්නේ කියලා? ඔබ ලෝ(ර්)ඩ් ද රිපීට් වෙන්නේ නැතුව ඉන්න? මුලින්ම ලොකුකම අයින් කර ගනිං පරයා.”

“අයියේ, මම ඒක එදා ජාවා පංතියෙදි නිකමට කිව්ව එකක්. මම මෙහෙ ආවාට පස්සේ එහෙම මුකුත් කාටවත් කිව්වේ නෑ. කට්ටියට උදව් කරා විතරයි.”

“ඈ බොල වේ**ගේ පුතෝ, තෝ තාම එකට එක කියන්න එනවද” යැයි යටිගිරියෙන් කෑගැසමින් කණ්ඩියෙන් බිමට බැස්සේය. අර “කොල්ලා” තනිවම සිනා සෙයි. ඌට මාර ආතල් ය. භවනේ වෙන කවුරුත් නැත. සියල්ලෝම ලෙක්චර්ස් ගිහින්ය. තුන්වන වසර අයියලා කිහිප දෙනෙක් කෙලවරක තේ බොමින් සිටියහ.

මට ඇඬෙන්නට ආවේය. ඌ මං බැන්න නිසා නොව, මගේ අම්මාව ගාව ගත් නිසාය. මගේ අම්මා දුක් මහන්සියෙන් මාව ලොකු මහත් කර කැම්පස් එන තත්වයට ගෙන ආවේ මේවාට නොවේය. “අයියේ, අපේ අම්මට මුකුත් කියන්න එපා” ඇස් වල කඳුළු පුරවන් මම කීමි.

යකෙක් ආරූඪ වුණාක් මෙන් මගේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලා ගත්තේය. මෙය දුටු තේ බොමින් සිටි අයියලා “ඕකට දැන් යන්න දීපං, දැං හොඳටම ඇති” යැයි සැර වුණු නිසා “අයියලා” ටික විසිර ගියහ. තේ බොමින් සිටි අයියලා මට ලඟට කතා කොට විස්තර ඇසූහ.

“හරි බං, දැං ඕවා හිතන්න එපා. දැං ලෙක්චර්ස් පලයං”

ඒ දවසම මා වැඩිය කතා කලේ නැත. මට කැම්පස් එන්නට ද එපා විය. මාගේ හිත ටිකක් හෝ හැදුවේ එවකට “පානදුර ගැට්ට” සාමාජිකයන්ය. ඉන් පසු මම සියළුම ජේෂ්ඨයන්ගෙන් සැඟවී සිවියෙමි. වැරදිලා හෝ අසු වුව හොත් තවත් කුණු හරුප වරුසාවකි. නමුත් අඩුම තරමින් මම ඊට හේතුව දැන ගතිමි.

දවසක් “අර කොල්ලා” මුණ ගැසුණි. ඔහු කැටුව ඔහුගේ පෙම්වතිය ද සිටියාය. පොර හෙනම වීරත්වයකින් කතා කලේය.

“දැං කොහොමද වැඩ. ජාවා ලේසිද?” යැයි කින්ඩියට ඇසුවේය.

“අවුලක් නෑ. කරගෙන යනවා.” කිසිදු හැඟීමකින් තොරව කීවෙමි.

“එහෙනම් A+ එකක් දායි නේ…” නැවතත් කින්ඩි හිනාවය.
“උඹ විතරක් පාස් වෙලා හරි යන්නේ නෑ. අනිත් උන්වත් පාස් කරන්න ඕනේ. උන්ට කුප්පි දාලා ගොඩ දාන්න ඕනේ. උඹලගේ බැජ් එකේ එකෙක් හරි රිපීට් උනොත් බලා ගමුකො…” කියා යන්නට ගියේය.

ඒවා ඔහු කීමට අවශ්‍ය නැත. මම ඒ වන විටත් අනන්තවත් කුප්පි දමා ඇත. පුළුවන් උපරිම අනික් අයට දන්නා දෙය කියා දීම මාගේ පුරුද්දය. නමුත් හැමෝම පාස් කිරීමට මට දේව ශක්තියක් නැත.

මේ අතර පරිගණක විද්‍යා සංගමයේ (CompSoc) සහ IEEE ශිෂ්‍ය සංගමයේ වැඩ වලට දායක වීමට අවස්ථාව ලැබුණි. “අයියලා” ගෙන් සැඟවීමට එය කදිම අවස්ථාවක් විය. නමුත් එහි සි‌ටි අයියලා අක්කලා සෑහෙන වෙනස්ය. මිත්‍රශීලී ය. උදව් කිරීමට කැමතිය. පරුෂ වචන නැත. මම එම සංගම් වලට නොදැනීම බොහෝ කාලයක් වැය කිරීමට පෙළඹුණෙමි. “අයියලා” නම් එයට කැමති වුණෙත් නැත. නමුත් සංගමේ අයියලා අක්කලා සෑම විටම මාව බේරා ගන්නට සිටියහ. පසු කාලීනව සමහරු “ඌ හිතං ඉන්නේ ඒ සංගම් ඌගේ ඒවා කියලා” කීහ. නමුත් ඒ ඒවා මාගේ ජීවිතයට කොතරම් බලපෑවද යන්න ඔවුන් නොදන්නා බැවින් විය හැක.

පළමු වාරයේ ප්‍රතිඵල නිකුත් විය. එදින “අර කොල්ලා” ව මුණ ගැසුණි. අහෝ දෛවය…

“ආ.. රිසල්ට්ස් ඇවිත් නේ”

“ඔව්. අද ආවා” සුපුරුදු හැඟීම් රහිත බවින් පිළිතුරු දුනිමි.

“කොහොමද ජාවා රිසල්ට්ස්?”

“හොඳයි. ගොඩක් අය පාස්. A ත් ගොඩක් තියනවා”

“A+ නැද්ද?”

“තියෙනවා, එකක්”

“කාටද?”

“මට…” කියා ඔහුගේ දෑස් දෙස කින්ඩිය මුසු තියුණු බැල්මකින් බැලුවෙමි.

“ආ… හොඳයි හොඳයි..” කියා යන්නට ගියේය. ඒ ඔහු මා සමඟ කතා කල අවසාන දවස විය.


මේ අතර මා වැනිම (ඊටත් වඩා දරුණුවට) රැග් එකට ගොදුරු වූ කිහිප දෙනෙක් සිටියහ. රැග් සීසන් එක අවසන් වී තිබුණද ඔවුන්ගේ බලපෑම් නම් අවසන් වී තිබුණේ නැත. විවිධ සිද්ධීන් හේතු කොට ගෙන පසුව අවසානයේ කැම්පස් එක තාවකාලිකව වසා දැමීමටද සිදු විය. ඊට දින/සති කිහිපයට පෙර පළමු වසර (අපි) සහ දෙවන වසර සිසුන් අතර තිබූ සියළු ස‌‌බඳතා නැවැත්වීමට බැජ් දෙකෙන්ම තීරණය කරන ලදී. නමුත් සංගම් වල කටයුතු සඳහා එය කල නොහැකි විය. ඒ නිසා ඒ ගැන නිතර නිතර ප්‍රශ්න ඇති වන්නට විය. මාගේ බැජ් එකේ පිරිස ඒ ගැන වැඩි බලපෑමක් නොකල අතර “ජේෂ්ඨයන්” ගේ බැජ් එකට එය සෑහෙන ප්‍රශ්නයක් විය. ඔවුනොවුන් අතර ද ප්‍රශ්න ඇති විය. වරෙක මා බාරව සිටි “අයියා” මා ලෙක්චර් එකක් අවසන් වී එළියට එන තෙක් මඟ රැක ගෙන සිට මාගේ කොලර් එකෙන් අල්ලා “තෝ අපේ බැජ් එකේ උන් එකක් ගණුදෙනු නවත්තපං” යැයි තර්ජනය කලේය. නමුත් ඒ අසලින් ලෙක්චරර් කෙනෙක් යාම නිසා තත්වය සන්සුන් වූ අතර මම එතැනින් හිමින් සීරුවේ මාරු වුණෙමි.

පළමු වසර දෙවන වාරය අවසානයේ අප බැජ් එකේ පැවති බකට් එක දවසේ සියල්ල පත්තු විය. අවසානයේ කැම්පස් එක (දින නියමයක් රහිතව) වසා දැමූ අතර පළමු සහ දෙවන වසර සිසුන් ට විශ්ව විද්‍යාල භූමියට ඇතුල් වීම පවා තහනම් විය. එතැන් පටන් එම බැජ් දෙක අතර සියළු ගණුදෙනු අවසන් විය. කැම්පස් එක වසා තිබුණද සංගම් වලින් සිදු කල ව්‍යාපෘතීන් නැවතුනේ නැත. පරිගණක විද්‍යා සංගමයෙන් පවත්ව‌ා ගෙන ගිය රේඩියෝ වැඩසටහන පවා සතිපතා පවත්වා ගෙන ගියෙමු. එම සංගම් මාගේ ජීවිතයේ මහත් වූ කොටසක් වීමට එය තවත් වූ හේතුවකි.

එතැන් පටන් UCSC තුල වෙනම සම්ප්‍රදායන් සහිත සංස්කෘතියක් බිහි වන්නට විය. අපේ පහල බැජ් එක සමඟ (මා දන්නා තරමින්) කිසිදු ප්‍රශ්නයක් ඇති වූයේ නැත. ඒ ගැන අප බැජ් එකේ සියළු දෙනා ගැමට පෞද්ගලිකව ආඩම්බර වෙමි.

අර “අයියලා” මෙය දකිනවාදැයි නොදනිමි. මට first-class නම් නැත. හැබැයි එකක් වත් රිපීට් ද නැත. 😉


මෙය මගේ ජීවිතයේ සිදු වූ සුවිශේෂි සිදුවීම් මාලාවකි. එය මිනිසුන් ගැන තේරුම් ගැනීමට මහත් සේ උදව් විය. ඒ “අයියලා” දැන් ඉන්නේ කොහෙද කරන්නේ මොනවාදැයි නොදනිමි. ඔවුන්ගේ ඒ ක්‍රියාවන්ගේ බැරූරැම් බව තවමත් නොදන්නවා වන්නට පුළුවනි. ඔවුන් කිසිදා ඔවුන්ගේ දරුවන්ට මෙසේ සිදු වනවාට අකමැති වනවා නොඅනුමානය.

කෙසේ වෙතත් එමගින් මට මා ගැන ආත්ම ශක්තිය වැඩි වීමක් නම් සිදු විය. තමා කරන්නේ හොඳ දෙයක් නම් කවුරුන් මොනවා කීවද ඒවායින් නොසැලී සිටීමට ඉගැන්වීය. නමුත් එය කල යුතුව තිබුණේ වෙනත් විධි වලින්ය. අදටත් මා තුළ පළුදු වු ගති ගුණ ඇත. ඒවාට ඔවුන්ට බැණ වැදී වැඩක් නැත. තවමත්, වසඑ 10 කට පසුත් ඒවා නිවැරදි කර ගැනීමට උත්සහ කරමින් සිටිමි.

මෙවැනි මානසික හෝ ශාරීරික පීඩා කොපමණ පිරිසක් විඳිනවා ඇතිද? ඒ නිසා කොපමණක් මානසික ආතතිය හෝ විශාදයට ලක් වනවා ඇතිද? කොපමණ දෙනෙක් ට සියදිවි නසා ගැනීමට සිතෙනවා ඇතිද? මෙය විහිළුවක් නොව, තවෙකෙකුගේ ජීවිතය සමඟ සෙල්ලම් කිරීමකි.

තවත් කෙනෙක් මානසිකව හො ශාරීරිකව හිංසාවට ලක් කර එක දැකීමෙන් සතුටු වනවා නම් එය මානසික රෝගයකි. මිලේඡ්ච ගතියකි. කැම්පස් එකේ “ජ්‍යේෂ්ඨ” බවට මුවාවෙන් ආරූඪ කරගත් වීරත්වයක් යොදා ගනිමින් අන් අයට හිංසා කරයි නම් පුශ්නය ඇත්තේ ඔබ තුලය. බොහෝ විට තමන්ගේ ජීවිතයේ සිදු වූ නොයෙක් ප්‍රශ්න වලට සමාජයෙන් පලි ගැනීමකි. බොහෝ විට පසුගිය වතාවේ හොඳටම රැග් වූ අයය. ඒ ඇරියස් කවර් කිරීමට රැග් එක කදිම අවස්ථාවකි. ඔබට එවැනි සිතුවිලි පහළ වේ නම් විශ්ව විද්‍යාල ගමන මදකට නතර කර හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. රැග් චක්‍රය බිඳින්න.

කැම්පස් එකේ සංස්කෘතිය වෙනම එකකි. එහි ඇති හොඳ දේ බොහෝමය. මම එයින් ඉගෙන ගත් දේ බොහෝය. ඒ නිසා “කැම්පස් ගිහින් නැත්නම් ඕවා ගැන කතා කරන්න එපා” යන්නෙහි සත්‍යතාවයක් ද ඇත. එය නොදන්නා මිනිසුන් හට මෙවන් දේ ඔවුන්ගේ උපකල්පන ප්‍රත්‍යක්ෂ කිරීමට උල්පන්දම් දෙන බව විශ්වාසය. නමුත් හිංසනය මගින් කිසිදා හොඳක් සිදුවන්නේදැයි නොදනිමි. ඔබත් එවැනි නොදන්නා මගුල් ගැන කතා කරන්නට යන පුද්ගලයෙක් නම් නොදන්නා මගුල් ගැන කතා නොකර සිටීම වටී.

නංගියේ මල්ලියේ, ඔබත් රැග් කිරීමට මඟ බලා සිටින කෙනෙක් නම් කරුණාකර නැවත සිතන්න. ඔබ හිංසනයට ලක්වන්නට කැමති ද? ඔවුන්ද එසේමය. ඔබේ දෙමපියන් ඔබ හිංසනයට ලක් වනවාට කැමති වන්නේද? මේ ළමයින්ගේ දෙමාපියන්ද එසේමය. ඔවුන් අනේක දුක් විඳිමන් ලොකු මහත් කර ඇත්තේ ඔබලාගේ විනෝදාස්වාදය සඳහා නොවේ. කැම්පස් සංස්කෘතියේ ඇති හොඳ දේ ඊලඟ පරම්පරාවට ගෙනයාමට හිංසනයෙන් තොර ක්‍රමයන් භාවිතා කරන්න. බිය වෙනුවට මිත්‍රත්වය දිකු කරන්න.

නංගියේ මල්ලියේ, ඔබ අළුතින් විශ්ව විද්‍යාල වරම් ලැබූ කෙනෙක් නම් යම් දිනෙක් රැග් එක මගින් මානසික හෝ ශාරීරික හිංසනයකට ලක් වේ නම් ඉවසා නොසිටින්න. අදාල බලධාරීන් දැනුවත් කරන්න. ඔබ ලෝකයේ අසීරුතම විභාගයක් සමත් වී ඉන් ඉහලම ප්‍රතිශතයට අයත් වන්නේ ඔබගේ සහ ඔබගේ පවුලේ අයගේ කැප කිරීම් නිසාය. කොහේ වත් යන ගොබ්බයන් හට ඔබගේ ජීවිතය විනාශ කිරීමට අවස්ථාව නොදෙන්න.

දෙමව්පියනි, ඔබගේ දරුවා විශ්ව විද්‍යාලයට ඇතුල් වූ පසු වෙනදාට වඩා දුකින් පසු වේ නම් හෝ ක්‍රියාශීලි බවින් අඩු නම් ඔවුන් සමඟ කතා කරන්න. ඔවුන්ව තනි නොකරන්න. ඔවුන්ව හිංසනයට ලක්වනවා නම් අදාල බලධාරීන් දැනුවත් කරන්න.

හිංසනය සතුටුදායක නැත. අනෙකා දැන් විඳවයි. ඔබ පසුව විඳවනු ඇත.

ප.ලි.

ම‌ෙම ලිපිය ලියන ලද්දේ කිසිවෙකු හෝ සමඟ ඇති පෞද්ගලික අමනාපයකින් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙය හුදෙක් රැග් එක වෙසින් එන හිංසනයට එරෙහි ව ලියූවකි. රජයේ හෝ පුද්ගලික විශ්ව විද්‍යාල කියා වෙනසක් නැත. මන්ද මානසික පුද්ගලයින් සැම තැනම සිටිති. විවිධ තරාතිරම් වලින් පැමිණෙන පිරිස එකමුතු කිරීම සිදු කල යුත්තකි. නමුත් එය හිංසනයකින් තොරව සිදුවන්නේ නම් අගනේය. හිංසනය මගින් ඇති වන්නේ තාවකාලික බැඳීම් සහ පුරුදු ය. ඒවා හුදෙක් බිය නිසා ඇති වූ දේවල් ය. නිදහස ලැබුණු විගස බිඳ වැටෙන්නේය. හැකි නම් මේ දේවල් මිත්‍රත්වයෙන් සහෝදරත්වයෙන් කියා දෙන්න. “හොඳින් කිව්වාට මුන්ට හරියන්නේ නෑ” කියා දෙයක් නැත. ඉන් පිළිබිඹු වන්නේ ඔබගේ කියා දීමේ නොහැකියාවයි. මානසික සහ ශාරීරික හිංසනය පිටු දකින්න.

04 comments on “රැග් එක: අවුරුදු 10කට පසු ලියමි

  • UCSE , Direct link to comment

    mama colmbo school giya colombo jeewath una duppath pawuala kollek, mama andwe campus therune naa, mama Colombo uni BIT kala 2001 3rd semester wala math amaru nisa mama tuition giya government campus ekaka yana ayya kenek gawa, eya mawa awurudu vinasa kala eyage kalliyath ekka….ganunta witharak nevei pirimi kattiyage jeewithath vinasa wenawa

  • Chathura Jayalath , Direct link to comment

    Kawda ban ehema kiwwa dial eka? Mata nam tika ewapanko athal ekata wage Inbox ekata

    • Praneeth Peiris , Direct link to comment

      He hee, dan owa wadak na ayye. Awrudu 10kata kalin una eewa ne. 😀

Leave a Reply

%d bloggers like this: